ස්වභාවික පරිසරයෙන් වඳවී ඇතැයි මෙතෙක් සලකනු ලැබූ ශ්‍රී ලංකාවට ආවේණික තවත් ශාක විශේෂයක් ශාක පිළිබඳ විශේෂඥයකු වන හිමේෂ් දිල්රුවන් ජයසිංහ, ශාක විශේෂයන් පිළිබඳ අධ්‍යයනය කරන පරිසර ගවේශකයකු වන පේශල පසන් කරුණාරත්න සහ ශාක විශේෂයන්හි පරාග පිළිබඳව අධ්‍යයනයක නිරතව සිටින දිලුම් ප්‍රභාත් සමරසිංහ ඇතුළු පිරිසක් කළුතර, පාලින්දනුවර කෙලින්කන්ද ප්‍රදේශයේ සිදුකළ නිරීක්ෂණයක දී හමුවී තියෙනවා. මේ ශාකය පොදු වහරේ හැඳින්වෙන්නේ ‘පිණි බෙරලිය’ නමිනුයි. මීටර් 35 පමණ උසට වැඩෙන මෙම ශාකයේ මල් හට ගැනීම වසරේ එක් කාලයකදී පමණක් සිදුවෙනවා.
හෙළ බසින් පිණි බෙරලිය ලෙසත් සහ ෂෝරියා ඔවැලිෆෝලියා (Shorea ovalifolia) යන විද්‍යාත්මක නාමයෙනුත් හඳුන්වන මෙම ශාක විශේෂය මුල්වරට ලොවට හඳුන්වා දී ඇත්තේ පේරාදෙණිය ජාතික උද්භිද උද්‍යානයේ උද්‍යාන අධිකාරීවරයකු ලෙස සේවය කල බ්‍රිතාන්‍ය ජාතික ශාක විද්‍යාඥයකු වූ හෙන්රි ත්වේට්ස් මහතා විසින් 1864 වර්ෂයේදී Enumoratia Planatarum Zeyaniae නම් ග්‍රන්ථයේ පළ කළ ලිපියකින්.
ඉන්පසු 1887 වර්ෂයේදී වලල්ලාවිට, හෙවෙස්ස ප්‍රදේශයෙන් සහ තවලම, හිනිදුම ප්‍රදේශයෙන් මෙම ශාක විශේෂය වාර්තා වී ඇති අතර ඉන්පසු පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයේත් ගම්පහ හෙනරත්ගොඩ උද්භිද උද්‍යානයේත් එය රෝපණය කර ඇති අතර ස්වාභාවික පරිසරයෙන් වාර්තා නොවී වසර 100ක පමණ කාලයක් උද්භිද උද්‍යානයට පමණක් සීමා වී තිබූ නිසා මෙම ශාක ස්වාභාවික පරිසරයෙන් වඳ වූ ශාක විශේෂයක් ලෙස 2012 වසරේදී ජාතික රතු දත්ත ලැයිස්තුවට ද ඇතුළත් කර තිබුණා.
ඉන්පසු හිමේෂ් දිල්රුවන් ජයසිංහ සහ ශාක විශේෂ පිළිබඳ පර්යේෂකයකු වන භාතිය ගොපල්ලව ඇතුළු කණ්ඩාමක් විසින් 2020 වර්ෂයේදී රත්නපුර, අයගම ප්‍රදේශයේදී පිණි බෙරලිය ශාකය හඳුනා ගැනීම නිසා එය 2020 රතු දත්ත ලැයිස්තුවෙහි අතිශය අන්තරායට ලක්වූ ශාකයක් ලෙස එය යාවත්කාලීන කෙරුණා.
2009 අංක 22 දරන වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක (සංශෝධන) පනතේ ආරක්ෂිත ශාක නාම ලේඛනයට පිණි බෙරලිය ද ඇතුළත් කර ඇති අතර, ඒ අනුව මෙම ශාකයට හෝ ශාකයේ කොටසකට හානි කිරීම, විකිණීම හෝ විකිණීම සඳහා ප්‍රදර්ශනය කිරීම මුළුමනින්ම තහනම් කරනු ලැබුවා.
දැනට වාර්තා වී ඇති ස්ථාන දෙකෙහි මෙම ශාක ඉතා කුඩා ප්‍රමාණයක් පවතින බැවින් දැඩි සංරක්ෂණ ක්‍රියාමාර්ග ගෙන එය ආරක්ෂා කළ යුතු බවත්, මෙය හඳුනාගෙන ඇති කෙලින්කන්ද ප්‍රදේශය ආරක්ෂිත ප්‍රදේශයක් නොවන නිසා එය කඩිනමින් සංරක්ෂණය කරන්නට පියවර ගතයුතු බවත් මේ නිරීක්ෂක කණ්ඩායම ඔහු කියනවා.
0 Comments